බිහිවිම සහ හේතුව
බිහිවිම සහ හේතුව
හිජ්රි වර්ෂ 1419 රජබ් මාසයේ 11 වන දින එනම් 1998 නොවැම්බර් 01 දින ගාල්ල හිරිඹුර පිහිටි කන්සුල් හෛරාත් මස්ජිදයේ අල් බහ්ජතුල් ඉස්ලාමීයා යන නාමයෙන් මෙම අරාබි විද්‍යාලය බිහිවිය. අල් කුර්ආනය සහ සුන්නාව (නබි (සල්) තුමාණන්ගේ මග පෙන්වීම) පදනම් කරගෙන ස්වාධීන ව ක්‍රියාත්මක වන අරාබි විද්‍යාල පෙළේ අපගේ කලා මධ්‍යස්ථානයේ බිහිවීමත් වැදගත් සිදුවීමකි.
සැබවින්ම ආර්ථික වශයෙන් ශුන්‍ය වී සිටී අප භෞතික සම්පත් කිසිවක් නොමැතිව මෙම විද්‍යාලය ආරම්භ කළෙමු. එකල මෙය පවත්වාගෙන යාමට හා ක්‍රියාත්මක කිරීමට කිසිදු පුද්ගලයෙකු හෝ ආයතනයක සහයක් හෝ උපකාරයක් අපට නොතිබුණි. “නමුත් සත්‍ය මාවතේ දුෂ්කරතාවන්ට සහ අභියෝග වලට මුහුණ දී පරිත්‍යාගශීලී ව ක්‍රියා කරන්නන්ට අල්ලාහ් තආලා උපකාර කරයි” යන දැඩි විශ්වාසය අපට තිබුණි. මේ දක්වා මෙම විද්‍යාලයට ලැබෙන සහයෝගය සහ සහය එය ම සාක්ෂි දරයි. මෙම විද්‍යාලය පිහිටු වීමේ දී කැප වූ සියලු ගුරුවරුන් සහ ශිෂ්‍යයන් විශාල සේවයක් කළ අතර මෙම ගම්වාසීහු ද තවත් ඇතැම් සහෝදරයන් ද කැපවීමෙන් ක්‍රියා කළහ.
වසර දෙකක පමණ කාලයක් මස්ජිදයේ ක්‍රියාත්මක වූ මෙම විදුහල ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම සහ වෙනත් අපහසුතා හේතුවෙන් වර්ෂ 2000 ඔක්තෝබර් මස අවසන් භාගයේ මෙම ස්ථානට ගෙන එන ලදී. තරමක් සුව පහසු නිවසක් සමග වර්ග මීටර් 2150 ක (පර්චස් 86) වර්ග ඵලයෙන් යුත් මෙම ස්ථානය කුලී පදනම මත ලබා ගන්නා ලදී. එනමුත් වසරක් ගත වීමට පෙර රුපියල් මිලියන 4½ ක මුදලකට මෙම විදුහලේ නමට මිල දී ගන්නා ලදී.
ආරම්භයේ මෙම විදුහලට තිබූ අල් බහ්ජතුල් ඉස්ලාමීයා යන නම සම්බන්ධයෙන් විවිධ මතභේද ඇති වූ හෙයින් සමාජයේ විද්වතෙකු ලෙස හැඳින් වූ නබි නායක (සල්) තුමාණන්ගේ බාප්පාගේ පුත්‍රයෙකු සහ ඉස්ලාමීය අධ්‍යාපනයට විශිෂ්ට සේවයක් කළ අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළි) තුමාණන්ගේ නාමය සුදුසු යැයි සිතා ඉබ්නු අබ්බාස් අරාබි විදුහල යනුවෙන් නම වෙනස් කරන ලදී. මෙම විදුහල මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අතර 1982 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේද ලියාපදිංචි කර ඇත. අරාබි විදුහල් ලියාපදිංචි කිරීමේ සම්ප්‍රදායික ක්‍රමවේදය අනුව “ප්‍රාථමික අරාබි පාසල” ලෙස ලියාපදිංචි වූ මෙම විද්‍යාලය වර්ෂ 2012 දී “අරාබි විද්‍යාලය” දක්වා උසස් කරන ලදී.
සිසුන් 60 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම විදුහලෙහි මේ වන විට ඉස්ලාමීය ඉගැන්වීම් සහ අල් කුර්ආන් කට පාඩම් කිරීම (හිෆ්ල්) යන අංශ දෙකෙහිම දිවයිනේ නොයෙක් ප්‍රදේශ වල සිට පැමිණ ආසන්න වශයෙන් ශිෂ්‍යයන් 120 ක් පමණ ඉගෙනුම ලබති. මෙම අංශ දෙකෙහිම පූර්ණ කාලීන ගුරුවරුන් 12 දෙනෙක් සහ අර්ධ කාලීන ගරුවරුන් 8 දෙනෙක් සේවය කරති. මේ වන තෙක් මෙහි මෞලවිවරුන් ලෙස 141 දෙනෙක් සහ හාෆිල්වරුන් ලෙස (අල් කුර්ආනය කටපාඩම් කළ) 75 දෙනෙක් පත්වීම් ලබා පිට ව ගොස් ඇත.