දැක්ම සහ මෙහෙවර 

දැක්ම සහ මෙහෙවර 

ඉබ්නු අබ්බාස් අරාබි විදුහලේ පරමාර්ථය වනුයේ ඉස්ලාම් දහම එහි නිර්මල ස්වරූපයෙන් අල් කුර්ආනය සහ අස් සුන්නාව අනුසාරයෙන් මුල් අවදියේ යහපත් ලෙස හැසිරුණු යහපත් උදවිය අවබෝධ කර ගත් ආකාරයටම ඉගැන්වීමයි. දැනුම සෙවීම ඒ අනුව ක්‍රියා කිරීම සහ මග පෙන්වීම යන කරුණු ත්‍රිත්වය මත බැඳුණු අභිලාසය විදුහල් ලාංඡනයේ දක්වා තිබීම තුළින් එහි පරමාර්ථය තවදුරටත් විද්‍යාමාන වෙයි. ප්‍රයෝජනවත් අධ්‍යාපනය හදාරන අතර ම සදාචාරය සහ ආචාර ධර්මයන්ගෙන් හෙබි විද්වතුන් ලෙස සිසුන් බිහි කළ යුතුය යන්නෙහි දැඩි අවධානය යොමු කර ඇත.  

ඉස්ලාමීය අධයාපනය (මෞලවි, ආලිම්), අල් කුර්ආනය කට පාඩම් කිරීමේ අංශය යනුවෙන් අංශ දෙකකින් යුක්ත ව මෙම විදුහල ක්‍රියාත්මක වනු ඇත. මෙහි ප්‍රධාන අංශය වන ඉස්ලාමීය අධ්‍යයන අංශයෙහි සිසුන් ගණන 90 ක් ලෙසත් කට පාඩම් අංශයේ 40 ක් ලෙසත් සීමා කර ඇත. වසර 7 ක කාලයක් ඉස්ලාමීය ඉගැන්වීම් අංශයේ විෂය නිර්දේශය වනුයේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සමස්ත ලංකා ආගමික වියතුන්ගේ සංගමය විසින් සකස් කරන ලද විෂය නිර්දේශය හා සමාන විෂය නිර්දේශයයි. තවද අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ විෂයන් සිංහල දෙමළ ඉංග්‍රීසි යනාදී භාෂාවන් ද වන අතර ඉහළ පන්ති වල සිසුන් සඳහා පරිගණක පාඨමාලාවන් ද උගන්වනු ලැබේ. මෙහි පරිගණක පාඨමාලාව හදාරන සිසුන් සඳහා වෙන ම සහතික පත්‍රයක් ප්‍රදානය කිරීම සැලකිය යුතු කරුණකි. 2014 වසරේ සිට සිසුන් රජයේ ‘අල් ආලිම්’ විභාගයට පෙනී සිටින අතර වර්තමානයේ ‘ධර්මාචාර්ය’ පොදු විභාගයට ද සහභාගී වී ඇත. තවද අල් කුර්ආන් කට පාඩම් අංශයේ සිසුන්ට අමතර විෂයක් ලෙස ඇතැම් පොදු විෂයන් ද උගන්වනු ලැබේ. මෙහි විවිධ භාෂාවන් උගන්වනු ලබන නමුත් මෞලවිවරුන් ලෙස පත්වීම් ලබන හෙයින් ගැඹුරින් හා මනාව දැන සිටිය යුතු භාෂාවක් වශයෙන් අරාබි භාෂාවෙහි මනා හැකියාවක් හා නිපුණතාවක් ලැබිය යුතුයි යන්නෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.

වාර්ෂික ව අර්ධ වාර සහ අවසාන වාර විභාග පැවැත්වෙන අතර අවසන් වසර විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අරාබි භාෂාවෙන් ගවේෂණාත්මක අධ්‍යයන ප්‍රබන්ධ ලිපියක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත. මෙය ආචාර්ය එම් ඒ ඒ එම් ලෆර් මහතාගේ මග පෙන්වීම යටතේ ආරම්භ කර අඛණ්ඩ ව ක්‍රියාත්මක වේ. වර්ෂ 2000 සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ ඉස්ලාමීය විශ්වාසයන් පිළිබඳ ප්‍රතිපත්ති න්‍යාය නීති විද්‍යාව සහ සමාජ ගැටලු ආදී විවිධ විශේෂිත මාතෘකාවන් යටතේ 130 කටත් අධික වටිනා ගවේෂණාත්මක අධ්‍යයන ප්‍රබන්ධ ලිපි අප සිසුන් විසින් ලියා නිම කොට ඇත. එයට සාපේක්ෂ ව සිසුන්ට රටේ විවිධ ප්‍රදේශ වල පවත්වනු ලබන අධ්‍යාපන සම්මන්ත්‍රණ වලට සහභාගී වී තම කුසලතා සහ දැනුම වර්ධනය කර ගැනීමට ද අවස්ථාව ලබා දෙනු ලැබේ. එම සම්මන්ත්‍රණ රැසක අපගේ සිසුන් ප්‍රථම ස්ථානය ලබා දස්කම් පෙන්වා ඇත. විදුහල් 70 කටත් අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් සමස්ත ලංකා අරාබි විද්‍යාල සංගමය විසින් 2012 දී පවත්වන ලද ජාතික තරඟ විභාගයේ දී ශිෂ්‍ය මට්ටම හා විද්‍යාල මට්ටම යන අංශ වලින් අපගේ විදුහල ප්‍රථම ස්ථානය ලබා ගැනීම සුවිශේෂී කරුණකි.

පසුගිය වසර ගණනාවක් තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අප විද්‍යාලයේ ශිෂ්‍යන්ගෙන් ආසන්න වශයෙන් 80% ප්‍රතිශතයක් සමත් වී අ.පො.ස. උසස් පෙළ විභාගයට සුදුසුකම් ලබා ඇත. 2007 වර්ෂයේ සිට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ද විශිෂ්ට ප්‍රතිඵල ලබා ඔවුන්ගෙන් 85% ප්‍රතිශතයක් දේශීය විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරති. තවත් සමහරුන් විදෙස් අරාබි විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරමින් සිටිති. ඔවුන්ගෙන් සමහරුන් දැනට ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින අතර ඇතැමුන් ආචාර්ය උපාධිය හදාරමින් සිටීම විශේෂිත කරුණකි.